ප්ලේටොනික ප්‍රේමය – කපිල එම් ගමගේ

No Comment 16 Views

තුරු සිරස විනිවිදින ළදරු දිනකර කිරන

රාත්‍රිය මුදාහල වැඩුණු පත් මත වැතිර

වෙහෙසකර මිහි සිරස උකුළු තල සතපවන

ගිම්හානයක වට අහඹු වැස්සක් ලෙසින

 

මල් පිපෙන කාලයක කුණාටුව හරි සැරට

සූරගෙන ගිය විටෙක සුසුමකට හිලව් වුණ

එකම එක මලක් වී පිපී තනිවම හිඳින

ප්‍රේමයද නොදන්නා ප්‍රේමයකි මල් සුවඳ

 

දෙවුරු සිඹ ලතාවට ගලා බසිනා ගඟක

මිහිරි මුනු මුනුව තනුවක් වෙලා නිති වැයෙන

මධු බඳුන හිස් නොවන තුඩ වැකුණු තැන දිලෙන

කියග පියබඳ ඉතින, ප්‍රේමයද නුඹ සොයන

 

විඩාබර නෙත් කෙවෙණි තෙමා ඉඳහිට මතුව

කඳුළු බිඳුවක් වෙලා කාරණා පිරිසිඳින

මුදු සුවඳ මුහුළ’තර මුදු ඇඟිලි තුඩු දුවන

නොතේරෙන  ප්‍රේමයද හදවතේ සැරිසරන

 

සීත ඍතුවක් නො එන කාලයක් අද්දර හි

හිම මිදෙන නිම්නයක හිස හොවා රඳවගෙන

උණුසුම්ම හාදුවක් කතන්දරයක් විලස

ඉහ  ඉද්දරින් තබන ප්‍රේමයද මේ සොඳුර

 

අවරගිර මල් මැරෙන සුසානෙක ඉකිගසන

කුරුල්ලෙකු මධුමතින් වැටී තනියම නිදන

එකම එක ඉටිපහන දල්වලා තුරු අතර

නොනිදා පහන් කරන ප්‍රේමයද නෙත් සඟල

 

කෙසඟ සැරයටියකට වාරුවෙන මළ සිහින

අනුත්තර ලෝකයෙන් නොමැත උත්තර පතන

අප තුලම අප සෙමින් දියවීම, අප නොදැන

ප්‍රේමයයි හුදකලාවෙම තනිව වරනැගෙන

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)