එපමණ ද? – මාලතී කල්පනා ඇම්බ්‍රොස්

No Comment 27 Views

අඳුර මිරිකා දෑතින්

සරමි ගොළු රඟමඬළ
සොඳුර ඔය හිස ගැවසි
කොඳ මල්ය
කුංකුම ය
තැන තැන විසුල

දුෂ්කර ම රිදුම මට දැනෙන්නේ
රත් කොකුම්
බොඳව ගිය
අඩ නළල් සඳින් නම්
මේ රැයට
මෙතැන් සිට කියන නම
තනිකම ද?

සත් සියක්
මදාරා පරසතු අතර
සත් වසක් සිල් නො බිඳ
තැනූ රන්වන් දෙවොල
සත් කඩක් වෙන්නට
මොහොතකට පෙර අසමි…
ඒ ඔබ ද?

අග්නි රංගයක කෙළවර
සිත විතැන් වීම යනු
අලෝලිත ඉඟියක් ම පමණ ද?
එපමණ ද?

එපමණැ’යි පවසන්න
එවිට පුලුවන් අපට
බිඳුණු අඩ සඳෙහි යළි
රත් පැහැය තවරන්න
සිත් ඇඟිලි තුඩු අගින්
ලාස්‍යය පුබුදන්න
මඟ හැරුණු
න්‍රිත්තාමය නිමේෂය
ප්‍රේමයෙන් කැඳවන්න

බැරිම නම්
මට හැකිය
කම්පිතව මිය යන්න.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)