පශ්චාත් නූතනවාදය විලාසිතාවක් – රන්ජිත් ධර්මකීර්ති

No Comment 118 Views

රන්ජිත් ධර්මකීර්ති කීර්තිමත් වේදිකා නාට්‍ය කරුවෙකි. 1963 වසරේ ‘නැංගුරම්’ නාට්‍යයේ සිට 1992 වසරේ ‘මේඝ’ නාට්‍යය දක්වා දශක තුනක පමණ කාලයක් ඔහු සිංහල වේදිකාවේ විවිධ ස්වතන්ත්‍ර නාට්‍ය රචනා කළේ ය; පරිවර්තන කළේ ය. නිෂ්පාදනය කළේ ය. ‘මහගෙදර’, ‘මෝදර මෝල’, ‘මේඝ’ වැනි ස්වතන්ත්‍ර නාට්‍ය ද ‘හිරු නැති ලොව’, ‘අන්ගාරා ගඟ ගලා බසී’, ‘චෙරි උයන’ වැනි පරිවර්තන නාට්‍ය ද ඒ අතර වෙයි.

angaraධර්මකීර්ති මහතා පසු‍කලෙක වේදිකාවෙන් මඳක් ඈත් ව සාහිත්‍යකරණයට යොමු වූයේ ය. ඔහු කෙටිකතා ලීවේ ය, නවකතා ලීවේ ය. ළමා හා යොවුන් කතා ලීවේ ය. ඉන්ද නොනැවතුණු ඔහු නාට්‍ය කලාව අරභයා ශාස්ත්‍රීය කෘති කීපයක් ද සම්පාදනය කළේ ය.

වෘත්තියෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියකු වූ ධර්මකීර්ති මහතා කලක් ගුවන්විදුලියේ සහන නිවේදකයකු ලෙසින් ද කටයුතු කළේ ය. ඔහු දැනට වෘත්තීය ක්ෂේත්‍රයෙන් විශ්‍රාම ලැබ පූර්ණකාලීනවම ලේඛන කලාවේ නිරත ව සිටී.

දේශපාලනික වශයෙන් සමාජවාදී ආස්ථානයක් දැරු හෙතෙම ප්‍රගතිශිලී කලාකරුවෙකි.

ඔබ අද නාට්‍යකරණයෙන් ඉවත් ව සිටින්නේ ඇයි?

ප්‍රධානම හේතුව අද නාට්‍යයක් පවත්වාගෙන යෑම පිළිබඳ තිබෙන ගැටලුවයි. මම අන්තිමට නිෂ්පාදනය කළේ ‘මේඝ’ නාට්‍යය. එය නිෂ්පාදනය කළේ බැංකු ණයක් අරන්. නාට්‍යය සාර්ථකයි; විචාරක ප්‍රශංසාවත් ලැබුණා. නමුත් පෙන්වන්න ලැබුණු දර්ශන වාර ගණන ඉතා ම අඩුයි. මං ගත්ත ණය මුදල මට දරාගන්න බැරිව ගියා. පස්සේ මං ඒක බොහෝම අමාරුවෙන් කොටස් වශයෙන් ගෙව්වා. ඒ නිසා මං කල්පනා කළා, වේදිකාවෙන් සමුගන්න දැන් කාලය එළැඹිලා කියලා.

ඒත් ජයලත් මනෝරත්න, පරාක්‍රම නිරිඇල්ල වගේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම බුද්ධික දමයන්ත, රාජිත දිසානායක වගේ තරුණයනුත් අඛණ්ඩ ව නාට්‍යකරණයේ නිරත වනු පෙනෙනවා.

මනෝරත්න අන්තිමට නිෂ්පාදනය කරපු නාට්‍යය (සෙල්ලම් නිරිඳු) බොහෝම හොඳ නාට්‍යයක්. ඒත් ඒ නාට්‍යයටත් පැවැත්මක් නැති බවයි පේන්නේ. ප්‍රේක්ෂකයන් නැති තැන නාට්‍යයක් කොහින් ද? අද නාට්‍ය සංවිධායකයෝ මුදලාලිලා වෙලා. ආයෝජනයට වඩා දෙගුණයක් හොයාගන්න පුළුවන් නාට්‍ය තමයි ඔවුන් පෙන්වන්නේ.

නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ අර්බුදය මොකද්ද?

ආර්ථික සාධකය එකක්. අද මැද පන්තික පවුලකට නාට්‍යයක් බලන්න අපහසුයි. මොකද, ඒ සඳහා විශාල වියදමක් දරන්න සිදුවන බැවින්. මේ නිසා එදා හිටපු ගුරුවරුන්, ලිපිකරුවන්, භික්ෂුන් වහන්සේලා, විශ්ව විද්‍යාල ඇදුරන් හා සිසුන් අද නාට්‍ය නැරැඹීමෙන් දුරස් වෙලා. අද ඉන්නේ අමුතුම ප්‍රේක්ෂක පිරිසක්. මොවුන් ටෙලි නාට්‍ය කලාවට ඇබ්බැහි වෙච්ච පිරිසක්. (මේවට කලාව කියන්නත් බැහැ. ටෙලි වෘත්තාන්ත කියා කියන්න පුළුවන්) වෙනත් රටවලත් නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ අර්බුද ඇතිවුණා. නමුත් නාට්‍ය කලාව නැති වුණේ නැහැ. මොකද රජයත් පෞද්ගලික අංශයත් නාට්‍ය කලාවට අනුග්‍රහ දැක්වූවා.

ඔබ කියන්නේ අපේ රටේ නාට්‍ය කලාවටත් රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යයි කියල ද?

ඔව්. අදටත් අපි මහත් බුහුමනින් යුතු ව කතා කරන ග්‍රීක නාට්‍ය බිහිවුයේ රාජ්‍ය අනුග්‍රහයෙන්. ග්‍රීක පාලන තන්ත්‍රය නමැති පක්ෂියා පියාසර කළේ ආගම හා සංස්කෘතිය යන පියාපත් දෙකේ ශක්තිය ඇතිව බව කියැවෙනවා. ඒත් අපේ පක්ෂියා පියාපත් දෙකම කපපු සත්ත්වයෙක්. කලාවට හා සංස්කෘතියට නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබෙන්න ඕනැ. කවුරුවත් දන්්නෙ නැති කෙනකුට තමයි අපේ රටේ සංස්කෘතික ඇමැතිකම දෙන්නේ. ඒක ඒ තරමටම නොවැදගත් දෙයක් විදියටයි සලකන්නේ.

කලාවේ තියෙන මොකද්ද උපයෝගිතා වටිනාකම?

පිරිපුන් මිනිසෙක්, පරිපූර්ණ මිනිසෙක් බිහිකරන්නේ කලාවෙන්. විද්‍යාව හා තාක්ෂණ මම වැදගත් නැහැ කියනවා නෙමෙයි. නමුත් ඒකට ම ප්‍රමුඛත්වය දිය යුතු නැහැ. අද ඇමෙරිකාවට වෙලා තියෙන්නේ මොකද්ද? මානව සංවර්ධන දර්ශකය අනුව අද ලෝකයේ උසස් ම රටවල් බවට පත් ව තිබෙන්නේ නෝර්වේ, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය වගේ රටවල්. විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය වැනි විෂයයන්ට ප්‍රමුඛත්වය දුන් පමණින් රටක් දියුණු නොවන බව මෙයින් සාක්ෂාත් වෙනවා. මෙය අද ඇමෙරිකාව විසින් ද තේරුම් ගනු ලැබ තිබෙනවා. විද්වතුන් 45 දෙනකුගෙන් සමන්විත කොමිසමක් විසින් 2010 දී ඉදිරිපත් කරන ලද වාර්තාවකින් කියැවුණේ රටක් දියුණු කරන්න නම්, යහපත් සමාජයක් බිහිකරන්න නම් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා අධ්‍යයනය වෙත නැවත අවධානය යොමුකළ යුතු බවයි. මේක අපිත් තේරුම් ගන්න ඕනැ.

‘පිරිපුන් මිනිසා’ යන්නෙන් ඔබ අදහස් කළේ කවුද?

අද බොහෝ වෛද්‍යවරුන් අරගන්න. ඔවුන් හැසිරෙන්නේ හිත්පිත් නැති රොබෝවරුන් වගෙයි. ඔවුන්ට අනුන්ගේ හැඟීම් තේරෙන්නේ නැහැ. මොකද, ඔවුන් සංවේදී මිනිසුන් විදියට හැදිලා වැඩිලා නැහැ. විෂයක් විදියට විද්‍යාව හදාරපු ඒත් කලාවෙනුත් පෝෂණය වුණු විද්වතුන් දෙදෙනෙක් පහුගිය කාලේ මට ඇසුරු කරන්න ලැබී තිබෙනවා. එක්කෙනෙක් මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, අනිත් කෙනා මහාචාර්ය කාලෝ ෆොන්සේකා. ඔවුන් දෙදෙනාම චැනලින් කළේ නැහැ. කාටත් වෛද්‍ය උපදෙස් දුන්නේ, ප්‍රතිකාර කළේ, බෙහෙත් නියම කළේ නොමිලේ. ඔවුන්ට මිනිස්සුන්ගේ හැඟීම් තේරුණා. ඒ සංවේදී භාවය ඔවුන්ට තිබුණා. ඒක ඇතිවුණේ කලාව පරිශීලනයෙන්.

අපට විද්‍යාව හා තාක්ෂණය පිටුදකින්න පුළුවන් ද?

බැහැ. කිසිසේත් ම බැහැ. අපිට එච්චර පටු වෙන්න බැහැ. විද්‍යාව හා තාක්ෂණය විතරක් නෙමෙයි හැම මානව ශාස්ත්‍රයක් ගැනම අපි අඩු වැඩි වශයෙන් හදාරන්න ඕනැ. අපි සමාජ විද්‍යාව දැනගන්න ඕනැ. මානව විද්‍යාව දැනගන්න ඕනැ. මේ ආදර්ශය මට දුන්නේ මාර්ටින් වික්‍රමසිංහ. මාග්‍රට් මීඩ් වැනි මානව විද්‍යාඥවරියකගේ පොත් කියවන්න මා යොමුකළේ එතුමා‍. හැම දෙයක් ගැනම අපිට පළල් දැනුමක් තිබෙන්න ඕනැ. ඒ දැනුමෙන් තමයි දැක්මක් ඇතිවන්නේ.

අද කලා රසඥතාවේ බරපතළ පිරිහීමක් දකින්ට පුළුවන්.

ඔව්. උචිතානුචිත විවේක බුද්ධිය ඇතිවන්නේ රසඥතාවෙන්. අද ඒක නැහැ. අම්ම තාත්තා මරා දමන සමාජයක් අද ඇතිවෙලා තියෙන්නේ ඒ නිසයි. අද ළමයි දෙමවුපියන්ව ආශ්‍රය කරන්නේ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ උණුසුම දැනෙන්නේ නැහැ. ඔවුන් කරන්නේ කාමරය අස්සට වෙලා ලැප්ටොප් එකේ සැරිසැරීමයි. මේවායින් වෙන්නේ මනස් විකෘති වීමක්. අවසානයේ සමාජ සතුරන් බවට පත්වන්නේ මේ තරුණයන් තමයි.

වේදිකා නාට්‍ය කලාවෙන් මිදුණු ඔබ දැන් ප්‍රබන්ධ සාහිත්‍යයට ප්‍රවිෂ්ට ව තිබෙනවා?

ප්‍රේක්ෂකයන්ට සාපේක්ෂ ව කිසියම් පාඨක පිරිසක් තවමත් අපේ රටේ ඉන්නවා. කොහොමත් මම එදත් කෙටිකතා ලිව්වා. පසුව අලුතින් ලියැවුණේ නවකතා හා යොවුන් ප්‍රබන්ධ විතරයි. මගේ යොවුන් සාහිත්‍යය කෘති මෙතරම් පාඨක ආකර්ෂණයකට ලක්වෙයි කියා එය ලියන අවස්ථාවේ මා කිසිසේත් ම හිතුවේ නැහැ. ‘අභය භූමිය’ යොවුන් නවකතාවෙන් මම ‘මුට්ටිය’ දාලා බැලුවා පොත සාර්ථක වෙයි ද කියලා. එය අතිශයින් ම සාර්ථක වුණා. එක පැත්තකින් වැඩි පාඨක පිරිසක් කියවද්දි අනිත් පැත්තෙන් ඊට සම්මාන පවා ලැබුණා.

ප්‍රබන්ධකරණයේදී ඔබ තවමත් ඉන්නේ යථාර්ථවාදී රීතියේ?

යථාර්ථවාදය තවමත් වලංගුයි කියා මා විශ්වාස කරනවා. එයට තව බොහෝ දුර යන්න පුළුවන්. මා විශේෂයෙන්ම කැමැති විවේචක යථාර්ථවාදි රීතියට.

ඔබ කාලයක් සමාජවාදි යථාර්ථවාදය අනුගමනය කළා?

මම සමාජවාදි කඳවුරේ හිටියට, ජනතා ලේඛක පෙරමුණේ සාමාජිකයකුව හිටියට මගේ එකම පොතක්වත් සමාජවාදී යථාර්ථවාදී රීතියට අනුගතව ලියා නැහැ. මොකද සමාජවාදය සාක්ෂාත් කරගන්නෙ නැතුව සමාජවාදි යථාර්ථවාදි රීතියක් පවතින්න බැහැ. මේක ප්‍රචාරකවාදි සාහිත්‍යයක්. සිංහලය රාජ්‍ය භාෂාව කිරීම හොඳයි කියලවත් වගා සංග්‍රාමය හොඳයි කියලවත් මම කිසිදු පොතක් ලියා නැහැ.

පශ්චාත් නූතනවාදී සාහිත්‍යය ගැන මොකද හිතන්නෙ?

ඒක එක්තරා ප්‍රවණතාවයක්; විලාසිතාවක්. සාහිත්‍යයේ අත්හදා බැලීම් අවශ්‍යයි. කාලයක් විකාරරූපි නාට්‍ය පැවැතුණා. භව සත්තා යථාර්ථවාදය පැවතුණා. ඒත් ඒවා තාවකාලිකයි. ඒවා ප්‍රධාන ධාරාවට එක්වන්නේ නැහැ. අද ධනවාදි රටවල් පශ්චාත් නූතනවාදය ඔසවා තබන්නේ ඔවුන් යථාර්ථවාදයට බය නිසයි. එහි ඇති ප්‍රබල බව ඔවුන් දන්නවා. යථාර්ථවාදී සාහිත්‍යය තුළ වුණත් කිසියම් ප්‍රමාණයකට මායා යථාර්ථවාදි ලක්ෂණ තියෙනවා. මා පරිවර්තනය කර ඇති ඇන්ටන් චෙකෝව්ගේ ‘කළු සිවුරුදර භික්ෂුව’ කියන කෙටි නවකතාව මුළුමනින් ම මායා යථාර්ථවාදි ලක්ෂණ පළ කරන්නක්.

වර්තමාන සාහිත්‍යය පිළිබඳ ඔබේ දැක්ම කෙබඳු ද?

මාර්ටින් වික්‍රමසිංහගෙන් පසු නවකතා බිහිවෙලා නැහැ කියලා කියද්දි සමහරුන්ට කේන්ති යනවා. ඒත් ඇත්ත කතාව නම් මේ නවකතා අතික්‍රමණය කළ හැකි නවකතා ලියන්න (මා ද ඇතුළු) ලේඛකයන්ට පුළුවන් වෙලා නැහැ. ඒකට එක් හේතුවක් තමයි අපේ ලේඛකයන් තුළ තියෙන ‘ඉක්මන්කම’. හැම අවුරුද්දෙ ම මොකක් හරි නවකතාවක් ලියන්න තමයි උත්සාහ ගන්නේ. සමහර විට සම්මාන බලාගෙන වෙන්න පුළුවන්. මාර්ටින් වික්‍රමසිංහ එක අවුරුද්දකට එක නවකතාව බැගින් ලිව්වෙ නැහැ. කාලයක් (අවුරුදු 15 ක් පමණ) ඔහු නවකතා ලිවීමෙන් මුළුමනින්ම වැළකී සිටියා. ඒ කාලයේදි තමයි ඔහු පරිණාමවාදය, මාක්ස්වාදය වගෙ විෂයයන් හැදෑරුවේ. එහි ප්‍රතිඵලයක් තමයි ‘ගම්පෙරළිය’. මේ තුන් ඈදුතු නවකතාව වුණත් අවුරුදු තුනකින් ලියලා හමාර කළේ නැහැ. ඒ සඳහා ඔහුට අවුරුදු දහතුනක කාලයක් ගත වුණා. වෙනත් විදියකට කියනවානම් අවුරුදු හැටක් තුළ (1914 – 1973) ඔහු ලිව්වේ නවකතා 13 ක් පමණයි. ඒත් අද අපේ ලේඛකයන් අවුරුදු දහයකට මොනතරම් නවකතා සංඛ්‍යාවක් ලියලා තියෙනවා ද?

අද ඉන්න හුඟක් කලාකාරයෝ දීනයි, නිවටයි කියන හැඟීමක් සමාජයේ තිබෙනවා?

ඇතමුන් එහෙම තමයි. කලාකරුවා පරමාදර්ශි විදියට ජීවත්වෙන්න ඕනැ. එක්තරා වැඩ වර්ජන අවස්ථාවක මම ගුවන්විදුලියේ ප්‍රවෘත්ති කීමෙන් වැළකී සිටියා. මගේ සහෝදර මිතුරන් (සුගතපාල ද සිල්වා, එච්. ඒ. සෙනෙවිරත්න වැනි) ගුවන්විදුලි කාර්යාලයේ ගේට්ටුවෙන් එහා වැඩ වර්ජනය කරද්දි මං කොහොම ද රාජකාරි කරන්නේ කියලා මගේ හෘදය සාක්ෂිය මගෙන් විමසුවා. මං ප්‍රවෘත්ති නොකී නිසා මගේ වැඩ තහනම් වුණා. ඒත් මම අදීන ව හිටියා.

ප්‍රගතිශීලි කලාකරුවකු විදියට සමාජය පිළිබඳ ඔබේ දැක්ම කෙබඳු ද?

රුසියානු විප්ලවයේ චින්තනය ගොඩ නැඟුවේ ටෝල්ස්ටෝයිලා, ගෝර්කිලා වගේ කලාකාරයෝ. ඒක තේරුම් ගන්න, පිළිගන්න ලෙනින් වගේ පාලකයන්ට පුළුවන්කම තිබුණා. ඒ වගේ පාලකයන් අපිට නැහැ. අද දේශපාලන පක්ෂවල දැක්ම ඉතා ම පටුයි. වාමාංශික පක්ෂවල තත්ත්වයත් ඒකමයි. සියල්ල පිරිහිලා.

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)