හමාර පූජාපදය – කපිල එම් ගමගේ

No Comment 64 Views

දඟකරයි හිතුවක්කාර මදනල

සැරිසරා පෙර පුරුද්දට

බොඳ අකුරු පිටු අතර

අතීතයේ මිහිරි වැකි සොයමින

 

උදම් රළ විත් වෙරළ අමදියි

කුඩම්මා කෙනෙකු විලසට

උදුරා ගොසින් කුණු කලල්

ගෙනෙයි අවසන් මතක පෙණ කැට

 

දිරා පත්වන විසල් අතු අග

ලැගුම්ගත් සියොත් කැල

හැරයයි යළි නො එන්නම

වසන්තය නිමාවූ වග කියමින

 

පුළුල් උරතල විදා හරිමින

නිදයි ඉපැරණි පව්ව

කවුරුවත් නැති මොහොතක

එදෙස නොබලාම බසියි සඳවත

 

ගොර බිරම් කළු, වන මැද

වළිකුකුළන් පැමිණ

පහුරු ගා මකයි පිය ලකුණු

කාටවත් හඳුනගනු නොහැකි ලෙස

 

හදවතේ උස් තැනින් පැනනැගී

මුහුළස මුදා හැරි ගං දිය

ගලයි හෙමි හෙමින්

හිම හිරෙහි සීතල පැහැරගෙන

 

කිසි දිනෙක හමුවෙන්න ඉඩ නොදී

උණු නොවුණු පීළි මත

දුර දිවූ සැහැසි දුම්රිය

නවතියි දිගුම සුසුමක් සමගින

 

අවසන් කෙස් කැරළි පීරා

තබනු නොහැකිය එකලෙස

හිස නගයි විටින් විට

රැල්වුණු පරඬලා පත් විලසට

 

උණුවූ ටයර පා සුලකුණු

උණුසුමින් වැළඳ සිටි

අනන්ත මහපාර යට

ගලයි පියෙකුගෙ නොපළ සෙනෙහස

 

පතසන්ව බිම බලා අවරගිර’ගින

කඳුළක් දොවා ඇසග

සුරත් පල දිනකර

අද හෙට ගිළිහෙතැයි සිතෙන ~

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)