මතක ද නෙලුම් පත් මතින් ඇහින්ද පිනි බිංදු
මගෙ ඇස් වලින් හැලුණු බව නොදැන
දිලිහෙන කොට ඉර එළිය එක්ක
ඔබ හිනාවුණු හැටි.
ඒ හිනාවේ නළියන – කඳුළක් උදුර ගෙන
වළාකුළු ඉගිලුණා
කෝපි මල් පීදුණා
ඇත්තමයි අපි පේ‍්‍රමයෙන් බැඳුණා.
දෙකොපුල පිරිමැද්ද ඔබේ අත්තල මත්තට
කොහෙන් නම් කරගැට ආවා ද
ප්ලම් ගෙඩියකට ඒ හැටිම නපුරු වෙන්නට පුළුවනි ද.
එහෙම නොවුණා නම්
අවාරයේ ගෙඩි හැදෙන ගහකට වුණත්
ආදරය කරන්නට තිබුණා
ඔබ දිහා බලා ගෙන – ඔබ වෙනුවෙන්.
පෙළින් පෙළ පියාඹන සමනල්ලු රෑනකට
ඉස්පාසුවක් නැතුව දඟළන සුළඟක්
ඔච්චම් කරන හැටි පේනවද
වැහි වැටෙන කොට පියාපත් සූරගෙන
ඒක වේදනාවක් නෙමෙයිද
ඉතිං සමනළයෙකුට වුණත්
තෙමෙන්න පුළුවන් ද.
මන්දාරම් අඳුරට දෙවනුව
අසනි වරුසාවක් වගේ ඔබ ඇදන් හැලෙන කොට
තුරුපත් පවා බියෙන් ගැහුණා
ඇබින්දන් සඳ එළිය මැකුණා
ඉවුරු පුපුරා ගඟ දියත් – බිම්කඩක් යට කෙරුවා
අපි කතා වුණේම
අලුත්ම අලුත් ලෝකයක් ගැන
දබර කළෙත්
ඒ ලෝකයේ පිපෙන්නට නියමිත
අලුත් මල් වලට තියන නම් ගැන
ඒ නම් වලින්ම අලුත් ලෝකයක් හැදෙනෙක ගැන
තරහක් නැතුවත් තරහා වෙන්න වුණෙත්
එ මල් වලින් පරණ ලෝකයම හැදුණු එකට
ඔය ඇස් වලින් වැක්කෙරෙන්නෙ ගින්දර
හරියටම පොම්පෙයි ගිනිකන්ද වගේ
ඒත්,
ඔබට තිබුණෙ ලියන්න
ඔතරම්ම නපුරු වෙන්නැතිව
වක්කඩ කඩන් හැලෙනවා වගෙ
ගලන් හැලෙන පේ‍්‍රමය ගැන
අලුත් කවියක් ලියන්න
ගින්දරට පුළුවන් – කවි පුච්චන්න
කවි වලට පුළුවන් – ගින්දර නිමන්න
Leave a Reply
Your email address will not be published. Required fields are marked (required)