මුලින්ම පළ වූ පරිවර්තන කෘති – පීටර් කැනියුට් පෙරේරා

No Comment 645 Views

ගංගාවක් විවිධ දිශාවන්ගෙන් එකතු වන වෙනත් දිය දහරාවන් ගෙන් පෝෂණය වන්නා සේ, ඕනෑ ම රටක සාහිත්‍යයක් විවිධ රටවලින් ලබාගන්නා වූ සාහිත්‍ය කෘතීන් ගෙන් පෝෂණය වෙයි; සරුසාර වෙයි. ශ්‍රී ලාංකික සාහිත්‍යයට ද එම ධර්මතාව පොදු ය.

මාර්ටින් වික්‍රමසිංහයන් ‘සිංහල සාහිත්‍යයේ නැඟීම’ යන කෘතියෙහි සඳහන් කරන අන්දමට මෑත සාහිත්‍යයේ විදේශ භාෂාවකින් සිංහලයට නඟන ලද ප්‍රථම සාහිත්‍ය කෘතිය වූයේ බොකේෂියාගේ, ‘ඩි කැමරන්’ නමැති කෘතියයි. ඒ 1864 දී ය. 1865 ‘ලක්රිවිකිරණ’ පත්‍රයේ පළ වූ දැන්වීමක් අනුව එවකට අරාබි නිසොල්ලාසය ද සිංහලයට පරිවර්තනය වෙමින් තිබී ඇත. එහෙත් මේවායින් එක කෘතියක් වත් දැකගැනීමට නොලැබුණු බව මාර්ටින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එසේ වුවත් 1866 දෙසැම්බර් විසිහත් වැනි දින ‍ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතෙහි ‘නත්තල් කතා වස්තුවක්’ නමැති සාර්ථක පරිවර්තනයක් අපේ සිංහල සාහිත්‍යයට එකතු වී තිබේ.

මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් සිය ‘සිංහල කෙටි කතාවේ ප්‍රභවය සහ කලාත්මක විකාශනය’ යන කෘතියේ සඳහන් කරන අන්දමට 1866 දී ‘සිංහල රාමායනය හෙවත් රාවණා සංහාරය’ නමැති කෘතිය සී. දොන් බස්තියන් බණ්ඩාර විසින් වාල්මීකිගේ රාමායනය ඇසුරෙන් සිංහලයට නඟා ඇත. 1888 දී ජේ. ඩබ්ලිව්. මාරඹේ විසින් ජොනතන් ස්වෙෆ්ට්ගේ ‘ගලිවර්ගේ චාරිකා’ නවකතාවේ ප්‍රථම කොටස ‘ගලිවර් නම් අය ඉතා කුඩා මනුෂ්‍යයන්ගේ රටට පැමිණීමේ ආශ්චර්ය මත කතා ප්‍රවෘත්තිය’ යනුවෙන් පරිවර්තනය කර ඇත.

අරාබි නිසොල්ලාසය හෙවත් දහසක් එක් රැයෙහි මුල්ම කොටස සිංහලයට පරිවර්තනය වූයේ 1890 ජනවාරි මාසයේ ය. පී. ඒ. පෙරේරා සහ ඩබ්ලිව්. පී. රණසිංහ විසින් සිංහලයට නඟන ලද එය හඳුන්වා තිබුණේ ‘අරාබි යාමිනි විලාසය’ යනුවෙනි.

එක්දහස් අටසිය අනූ එකේ නොවැම්බර් මාසයේ තෝමස් කරුණාරත්න පරිවර්තනය කිරීමට ආරම්භ කළ ‘අරාබි නිසොල්ලාසය’ මුද්‍රණය කොට පළ කරන ලද්දේ ඇන්. ඇස්. ප්‍රනාන්දු විසිනි. මේ කෘතියෙහි පරිවර්තන කටයුතු බෙන්තොට ඇල්බට් ද සිල්වා විසින් සිදු කරන ලදී.

මහාචාර්ය කුලතිලක කුමාරසිංහ ‘සිංහල කෙටිකතාවේ ප්‍රභවය සහ කලාත්මක විකාශනය’ කෘතියෙහි දක්වන අන්දමට ඉංග්‍රීසි නවකතාවක් ඇසුරෙන් සිංහලයට පරිවර්තනය කරන ලද අංග සම්පූර්ණ ප්‍රබන්ධ කතාව වන්නේ ‘වන්දනාකාරයාගේ ගමන’ ය. ‘පිල්ග්‍රීම්ස් ප්‍රෝග්‍රෙස්’ නමැති ඉංග්‍රීසි නවකතාව ඇසුරෙන් එය සිංහලයට නැඟූයේ සොලමන් ප්‍රනාන්දු ය.

1906 දී තියඩෝර් ජේ. ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් ‘අ බාස්කට් ඔෆ් ෆ්ලවර්ස්’ නමැති නවකතාව ‘පුෂ්ප මංජුසා’ යනුවෙන් සිංහලට පරිවර්තනය කරනු ලැබ ඇත.

එක්දහස් නමසිය හතළිස් පහේ අප්‍රියෙල් මාසයේ දී ඊ. ආර්. ද ඇස්. සරච්චන්ද්‍ර (එදිරිවීර සරච්චන්ද්‍ර) සහ ඒ. පී. ගුණරත්න ‘ප්‍රංශ කෙටිකතා’ යනුවෙන් කෙටිකතා සංග්‍රහයක් එළිදක්වා ඇත. ගී ද මෝපසාංගේ ‘දෑවැද්ද’, ‘හඳපාන’ සහ ‘පළිගැනීම’ යන කෙටිකතා ත්‍රිත්වය ඒ ‘ප්‍රංශ කෙටිකතා’ සංග්‍රහයට ඇතුළත් ව තිබේ.

සිංහලයට නැඟුණු ප්‍රථම ප්‍රංස නවකතාව වූයේ වික්ටර් මාරි හියුගෝ ගේ ‘ලේ මිසරාබ්ලේ’ ය. 1954 සැප්තැම්බර් මාසයේදී අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල විසින් ‘මනුතාපය’ යනුවෙන් එය සිංහලයට පරිවර්තනය කරන ලදී. සීමාසහිත ලේක්හවුස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ ප්‍රකාශනයක් වූ එහි මිල රුපියල් 18.50ක් විය.

රුසියානු භාෂාවෙන් සිංහලයට පරිවර්තනය වූ ප්‍රථම නවකතාව වූයේ මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ යන ශ්‍රේෂ්ඨ කෘතිය යි. සෝවියට් විප්ලවයට ද පන්නරය දුන් ඒ කෘතිය ‘අම්මා’ යනුවෙන් සිංහලයට පරිවර්තනය කරන ලද්දේ උඩකැන්දවෙල සිරිසරණංකර හිමියන් විසිනි. අම්මා නවකතාවේ ප්‍රථම කාණ්ඩය වූ පිටු එකසිය විස්සකින් සමන්විත එය ‘ලිහිණි පොතක්’ විය. මිල රුපියල් 1.50 ක් විය.

කේ. ඩී. පී. වික්‍රමසිංහ ‘ධනවතා’ යනුවෙන් රුසියන් කෙටිකතා සංග්‍රහයක් එළිදැක්වූයේ 1947 දී ය. ධනවතා, සදාචාරය, ප්‍රසිද්ධිය, නළුවා, පාපය, සුන්දරියෝ, දෙගෙඩියාව, හමුවීම යන ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා අටක් ඒ කෙටිකතා සංග්‍රහයට ඇතුළත් විය. පිටු එකසිය හතරකින් යුක්ත ලිහිණි පොතක් වූ එහි මිල රුපියල් 1.50 ක් ලෙස සඳහන් වේ.

ස්ටාලින් ත්‍යාගය දිනාගත් හෝ මින් චී සහ ටින් ඊ යන දෙදෙනාගේ ‘නව චීන නාට්‍ය’ කෘතිය උපාලි අභයගුණවර්ධන විසින් 1955 ඔක්තෝබර් මාසයේ දී ‘ධවල කේශී’ යනුවෙන් සිංහලයට පරිවර්තනය කරන ලදි. ලංකා චීන මිත්‍ර සංගමයේ ප්‍රකාශනයක් වූ ‘ධවල කේශී’ පිටු 140කින් යුක්ත වූ කෘතියක් විය. ඉපැරණි සමාජයේ කෝටි සංඛ්‍යාත පීඩිත ජනතාව ඉඩම් හිමි රදළ පන්තිය නිසා දුක්බරින්, කරදරයෙන් තැළුණ පෙළුණ ආකාරය කියැවෙන මේ ‘ධවල කේශී’ කෘතිය පදනම් කරගෙන චිත්‍රපටයක් ද නිෂ්පාදනය වූ අතර, එයට හේෂ් චිත්‍රපට ප්‍රදර්ශන තරගයේදී රන් පදක්කමක් ද හිමි විය.

ඊ. ජෝවිස් මැනර්ස්ගේ චීන පෙම්කතා ඇසුරෙන් ‘චීන පෙම්කතා’ කෘතිය දිවලකඩ ගුණදාස ලියනගේ සිංහලයට පරිවර්තනය කළේ 1957 දී ය. පිටු 128 කින් සමන්විත ව එම්. ඩී. ගුණසේන සමාගම එළිදැක්වූ ‘චීන පෙම් කතා’ කෘතියේ මිල රුපියල් දෙකක් විය. යානිගේ විවාහය, පැටළුණු මඟුල, පුදුම ඉරණම, සෙරෙප්පුවේ වරද, ව්‍යාජ මැහැල්ල, සෙට් කමල, දෙවොල පෙරදිග කොල්ලය යන කතා හතක් ඒ කෘතියට ඇතුළත් විය. චීනය පසුබිම් කරගෙන ඇමෙරිකානු ගත්කතුවරියක වූ පර්ල් එස්. බක්ගේ ‘ගුඩ් අර්ත්’ නමැති නවකතාවට සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය ද ලැබිණි.

වං ලුං නමැති චීන ගොවියකුගේ චරිතය පසුබිම් කරගෙන, සමස්ත ආසියාතික ගොවි ජීවිතය දෙස හෙළූ විචාර බැල්මක් වැනි වූ ‘ගුඩ් අර්ත්’ මුලින් ම සිංහලයට නැඟුණේ 1955 දී ය. ‘හොඳ පොළව’ යනුවෙන් ජිනදාස ජී. ලේල්වල පරිවර්තනය කළ එය පිටු 144 කින් යුක්ත වූ ‘ලිහිණි පොතක්’ විය. එයට පසුව මේ ‘ගුඩ් අර්ත්’ කෘතිය ඌරාපොළ හේමාලෝක හිමියන් සහ හේමපාල විජයවර්ධන විසින් ‘සාර භූමි’ යනුවෙන් සිංහලයට පරිවර්තනය කරනු ලැබිණි.

චිනුවා අචිබිගේ THINGS FALL APART සිංහලයට පරිවර්තනය වූ ප්‍රථම අප්‍රිකානු නවකතාව විය. පී. ආර්. පී. විජේසිංහ විසින් 1971 දී ‘බැද්ෙද හඳක් රාහු ගිලී’ යනුවෙන් එය සිංහලයට පරිවර්තනය කරන ලදි. උනෝකාගේ පුත් ඩකොන්කො උමුඕපියාවේ ගතකළ ජීවිතය ගැන කියන බැද්දෙ හදක් රාහු ගිලී පිටු 298 කින් යුක්ත නුගේගොඩ ගංගොඩවිල දීපානි මුද්‍රණයක් විය.

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)